Monday, December 6, 2021

 

 ප්‍රියන්ත කුමාර ඝාතනයට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා දී ඇති පොරොන්දුව ගැන විශ්වාසය තබා මෙම අප රටේ ජනතාව ඉවසීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු බව මල්වතු අස්ගිරි විහාරීය ලේඛාකාධිකාරි නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. 




 

 

Sunday, February 14, 2021

Media Minister Keheliya Rambukwella Menikhinna Rabken Hall Press Conferance 2021.02.14

Media Minister Keheliya Rambukwella Menikhinna Rabken Hall Press Conferance 2021.02.14

ර්ර්

2021.02.14

නදීක දයා බණ්ඩාර - මහනුවර 

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී අද (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට  ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය.

එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන විවිධාකාරයෙන් හැසිරෙනු දැකිය හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය. වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සිවිල් ජනතාව බෙහෙවින්ම පීඩාවට පත්ව සිටි බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන මෙරට යළි ත්‍රස්තවාදයක හිස එසවීමට ඉඩ නොතබන බවත් ඒ මහතා කීවේය.

යහපාලන පාලන සමයේදී මෙරට තිබුණු ප්‍රබලතම බුද්ධි අංශ විනාශ කර දැමු යුගයක් පැවති බව කී අමාත්‍යවරයා යළිත් බුද්ධි අංශ ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවද කීවේය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් කොවීඩ් ආසාධිත මළි සිරුරු ආදාහනය  පිළිබඳ තීන්දුව වෛද්‍ය නිර්දේශ මත ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

දකුණු පාළාත් හිටපු ආණ්ඩුකාර කුමාරී බාලසූරිය මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.



Saturday, February 13, 2021

secretary ministry of buddhasasana Prof. Kapila Gunawardena Speech. Hanthana 2021.02.13

 

 

 බුද්ධ ශාසන අමාත්‍යංශය මගින්  සාමනේර භික්ෂූන් වහන්සේ වැඩි පිරිසකට මෙම වර්ෂයේ සිට පිරිවෙන් දීමනාව ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා කියයි.


පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි ප්‍රමාණයකට ලබාදීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට එම දීමනාව හිමිවන්නෙ දහසක් පමණ හිමිවරුන් ප්‍රමාණයකට වන බැවින් එම ප්‍රමාණය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ දී අද (13) පැවැති නවක සාමනේර භික්ෂූන් පුහුණූ කිරීමේ ජාතික වැඩසටහනේ නවවන අදියර සමාප්ත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් ඒ මහතා මේ බව කීවේය.

 සාමනේර භික්ෂූන් වහන්සේ විසිදහසක් පමණ මෙරට වැඩවාසය කරන බවත් උන්වහන්සේ වැඩි පිරිසක් වෙත රජයේ මූල්‍යාධාර හා සෙසු පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බව අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.

සිය අමාත්‍යංශයට මෙවර වෙන්වී ඇති රුපියල් මිලියන 13 500න් මිලියන 7000ක මුදලක් වෙන් කොට ඇත්තේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් යැයි කී ඒ මහතා ඒ යටතේ භික්ෂු අධ්‍යාපනයට වැඩි අවස්ථාවක් හිමිවන බව සදහන් කළේය.

සාමනේර හිමියන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා සැකසුණු විශේෂ වැඩපිළිවෙල යටතේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට අමතරව වෙනත් ආයතනවලින් අමතර භාෂා හැදෑරීමේ අවස්ථාවක් හිමිවන බව කී ඒ මහතා ඒ සඳහා වැය වන මුදල් රජය විසින් දරන බවත් කීවේය.

 සසුන් උදාව වැඩසටහන යටතේ සාමනේර හිමියන්ගේ දෙමාපියන් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා දෙමාපියන්ට බස් රථවල නොමිලේ ගමන් කිරීමට හැකි වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද කීහ. රෝහල් ඇතුලු රජයේ ආයතනවලට ප්‍රවේශවීමේ දී ද එම දෙමාපියන්ට ප්‍රමුඛතාව හිමිවන හැදුනුම්පතක් නිකුත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දෙමාපියන් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම නිසා බොහෝ භික්ෂූන් වහන්සේ උපැවිදි වන බව කී ඒ මහතා තමන් වහන්සේට මතුවන එවැනි දුෂ්කරතා සිය අමාත්‍යංශය වෙත ලිඛිතව යොමු කිරීමෙන් කඩිනම් විසදුම් ලබා දීමට හැකියාව තිබෙන බව වැඩිදුරටත් කීවේය.


බුද්ධ ශාසන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි,  හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ විහාරාධිපති පූජ්‍ය දොඩම්වල ධම්මරතන හිමි ඇතුලු මහා සංඝරත්නය ද බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුනන්ද කාර්යප්පෙරුම මහතා ඇතලු ගිහි පැවිදි පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 

 












Wednesday, January 27, 2021

Tourism Minister Prasanna Ranathunga Statement about Corona Covid 19 2021.01.27

Tourism Minister Prasanna Ranathunga Statement about Corona Covid 19  2021.01.27

 

2021.01.27

නදීක දයා බණ්ඩාර - මහනුවර

ඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා මර්ධන එන්නත මෙරට ජනගහනයෙන් 60% ක පමණ පිරිසකට ලබා දීමට සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 එහි ප්‍රථම මාත්‍රා තොගය  අද (28)  කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතය.

කොරෝනා එන්නත මෙරට ජනතාවට ලබා දීමෙන් පසු සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට යළි විවෘත කර හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මේ එන්නත හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපාන නීතිරීති ලිහිල් කළ හැකි යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

 ප්‍රථම එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් ලැබෙන අතර ඉන් සියයට 20ක පමණ ප්‍රමාණයක් නොමිලේ හිමි වනවා.

 කොරෝනා වෛරසය සමග  ජීවත් වීමට අප පුරුදු විය යුතුයි. නමුත් එම වෛරසයට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය රටින් රටට වෙනස්. නියමු ව්‍යාෘතියක් ලෙස යුක්ක්‍රේන සංචාරයකයන් පිරිස මෙරටට පැමිණීමත් සමඟ රුපියල් මිලියන පන්සියයකට අධික මුදලක් ශ්‍රී ලංකාවට හිමිවුණා. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපත් කළ යෝජනාව අනුවයි එම සංචාරකයන්  එම ස්ථානයට පැමිණියේ. ඒ නිසා ආදායම් හිමිවෙනවා. පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ විදේශීය සංචාරක ප්‍රවේශපත්‍රය රුපියල් දෙදහසයි. යුක්ක්‍රේන සංචාරකයන් දෙසීයක් පමණ එහි ගිය අතර ඒ ආදායම එම ආයතනයට හිමි වුණා.

සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය යැයි කිසියම් ආයතනයක් ඉල්ලා සිටිනවා නම් කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවද සෞඛ්‍යාරක්ෂිත අයුරින් එය ඉටු කළ හැකි යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



 

 

 

Sunday, December 6, 2020

Chairman, Nuwara Eliya District Coordinating Committee S.B.Dissanayake Opening Pathahewaheta Anuragama Water Project 2020.12.07

Chairman, Nuwara Eliya District Coordinating Committee S.B.Dissanayake Opening Pathahewaheta Anuragama Water Project 2020.12.07

ර්ර්

2020.12.07

නදීක දයා බණ්ඩාර -  මහනුවර

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණේ තමන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ නිසා යයි එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. බී . දිසානායක මහතා පවසයි.

ජයග්‍රහණය කිරීම ඉතාමත්ම අසීරු ආසනයක් වන නුවරඑළිය  ජයග්‍රහණය කිරීම සහ එම දිස්ත්‍රික්කයෙන් සිංහල මන්ත්‍රීවරු තිදෙනෙකු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවේශ වීම සිදුවුණු නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ප්‍රමාණය එකසිය පනස් එකක් දක්වා ඉහළ නංවා බහුතර බලයක් ලබා ගැනීම පහසු නොවුණු බව  පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රුපියල් මිලියන තුන්සියයක ප්‍රතිපාදන මත පාතහේවාහැට අනුරගම ගම්මානයට ජලය ලබාදීම නිමිත්තෙන් අනුරගම සිරි සුගතනන්දාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමින්ට හිටපු  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
නුවරඑළිය දිස්ත්‍රිකයේ සිංහල මන්ත්‍රීවරුන් තිදෙනෙකු ප්‍රවේශකර ගැනීම ඉදිරියේදී සිදුකර ගත නොහැකි යැයි කී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
 
වව්නියාව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික ජයග්‍රහණය කිරීම ආසන්නයට පැමිණි නමුත් ජය නොලැබූ නිසා ආණ්ඩුවට මන්ත්‍රීධූර එකසිය පනහක් ලබා ගැනීමට හැකිවුණේ නුවරඑළිය දිස්ත්‍රිකයේ ජයග්‍රහණය නිසයි. 

නුවරඑළිය දිස්ත්‍රිකයේ එක් සිංහල ජාතික මන්ත්‍රී අසුනක් සඳහා අවස්ථාව ඇති අතර අනෙක් ආසන දෙක වෙනත් ජාතිකයන් අතර බෙදී යනවා. සී.බී.රත්නායක, නවීන් දිසානායක වැනි මන්ත්‍රීවරුන් නුවරඑළිය දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට ප්‍රවේශවුවත් ඔවුන්ට එම දිස්ත්‍රිකයෙන් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අසීරුවන බව ද එම දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



 


Tuesday, December 1, 2020

U.G.C. Chairman Prof. Sampath Amarathunga Speech 2020.12.02

U.G.C. Chairman Prof. Sampath Amarathunga Speech 2020.12.02

 2020.12.02
 
නදීක දයා බණ්ඩාර - මහනුවර
 
අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික  පර්යේෂණ වාර්තා එළිදැක්වීම නිමිත්තෙන් එම පීඨයේදී පැවැති උත්සවයකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මාර්තු සහ අප්‍රේල් පමණ වනවිට අන්තර්ජාලය ඔස්සේ දේශන කටයුතු ආරම්භ කිරීම නිසා ජුනි මාසය පමණ වන විට විශ්වවිද්‍යාල සිසුන්ට විභාග පැවැත්වීමට හැකි වුණු බව සභාපතිවරයා කීය.

ඉකුත් නොවැම්බර් මාසයේ අවසන් සති තුන තුළදී පමණක් දේශන හැත්තෑ දහසක් පමණ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වා ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
 
නමුත් විශ්ව විද්‍යාල විවෘත කිරීම ගැටලුවක් වන්නේ නේවාසිකාගාර තුළ සිසුන් විශාල පිරිසක් රැදී සිටිම යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
 
ආසියානු සංවර්ධන බැංකුව කලාපීය විශ්වවිද්‍යාල පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්තමාන ඉගෙනුම්කරණය අනුව  ඉදිරියට පැමිණ ඇති බවත් එම ඉලක්ක සපුරා ගත නොහැකි ඇතැම් විදේශීය විශ්වවිද්‍යාල අදාළ සමීක්ෂණයේ සිය විශ්ව විද්‍යාලයේ තත්ත්වය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.